නිර්මාල් සියඹලාපිටිය: ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට දින තුනකට පෙර හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා

  

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යාත්‍රා කරමින් තිබියදී වෙන්නප්පුව - ලුණුවිල පාලම අසලදී හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් විය.


ඔහු සම්බන්ධයෙන් අතිශය සංවේදී කරුණක් වාර්තා විය.


ඒ, ඔහු අනිද්දා (දෙසැ: 03) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි අයෙකු වීම ය.


ශාස්ත්‍රපති උපාධිය

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අවසන් කර සිටි අයෙකි.


එහි උපාධි ප්‍රදානෝත්සවය අනිද්දාට යෙදී තිබෙන අතර, එහිදී වසර දෙකක් තිස්සේ හැදෑරූ ශාස්ත්‍රපති උපාධි ලෝගුව පැළඳීමේ අපේක්ෂාවෙන් පසුවිය.

ඔහුගේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආචාර්යවරියක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.


"මාස්ටර් ඔෆ් ආට්ස් (ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්) කියල අපේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා. ඒකෙ 23/24 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි නිර්මාල්. එයා තමන්ගෙ රැකියාවත් කරන අතරේ සියලු නිබන්ධන වෙලාවට අවසන් කරල හොඳින් වැඩ කරපු කෙනෙක්. එයාගෙ අමාරු වර්ක් ෂෙඩියුල් එක ඇතුළෙ පවා එයා හැම දා ම දේශනවලට ආපු කැපවීමෙන් වැඩ කරපු කෙනෙක්. ඇත්තට ම එයාගෙ කොන්වොකේෂන් එක තියන්න තිබුණෙ හෙට යි අනිද්ද යි. ඒ ගැන හරි ම කනගාටු යි."


මේ අතර, ශාස්ත්‍රපති පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය චමින්ද පද්මකුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, නිර්මාල් සියඹලාපිටිය අතිශය සුහදශීලීව වසර දෙකක කාලයක් තමන් සමග කටයුතු කළ බව ය.

මේ අතර, ඔහු සමග ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ මිතුරු මිතුරියන් මෙන් ම ඔහුට ඉගැන්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය හැඟීම් පළ කර තිබිණි.

පවිත්‍රා ජයවර්ධන

ඡායාරූප මූලාශ්‍රය,Facebook

Pansilu Aloka

ඡායාරූප මූලාශ්‍රය,Facebook

ඔහුගේ මිතුරන් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ වීමේ අපේක්ෂාවක් ඔහු තුළ පැවති බව ය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ද ඔහු පෙළඹී ඇත්තේ, එම අරමුණ ඇතිව ය.

පෞද්ගලික තොරතුරු

1984 පෙබරවාරි 22 වන දා වෙන්නප්පුව ප්‍රදේශයේදී උපත ලබා ඇති ඔහු, වෙන්නප්පුව ජෝසෆ් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.


නිර්මාල් සියඹලාපිටිය වයස අවුරුදු 7ක දරුවෙකුගේ පියෙකු විය.


ඔහු පදිංචිව සිටියේ, රත්මලාන ප්‍රදේශයේ ය.


නිර්මාල් සියඹලාපිටියගේ මරණය ගැන විමර්ශන කිහිපයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග

මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් වෙන්නප්පුව පොලිස් වසමේ ඔයකට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 8 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චිට අද (දෙසැ: 01) නියෝග කළේ ය.


ඊට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයකට ලක්ව අනතුරට පත්ව කඩා වැටීමෙන් මිය ගිය එම හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමුවා ලෙස යානය පියාසර කරවමින් සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට භාර දෙන ලෙසට මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ප්‍රධාන ගුවන් නියමු 41 හැවිරිදි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව මරණයට හේතු සහිතව අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේ ය.


මේ අතර, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙනම ම තවත් විමර්ශනයක් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ගුවන් හමුදාපතිවරයාට ද නියෝග කළේ ය.

Post a Comment (0)
Previous Post Next Post