මුත්‍රා ගල් නසන අක්කපාන

මුත්‍රා ගල්  නසන අක්කපාන (Kalanchoe pinnata)

==========================================

ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකිය. ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවේ..

අප කුඩා කල පොත් අස්සේ දමා මුල් අද්දවා ගැනීමට අමතරව, අක්කපාන සමඟ ඊට වඩා සබැඳියාවක් අපට තිබුණා දැයි නොදැන සිටි මුත් අපේ කෑම වේලේ බත්පත සමඟ ලැබෙන විවිධාකාර වූ ව්‍යාංජන අතර “අක්කපාන” කොළ සම්බෝලය තිබී ඇති බව දන්නේ වැඩිහිටි වූ අවධියේ අම්මාගේ අතීත මතක අප සමඟ බෙදාහදා ගත් දිනකය.

ඉස්සර නිවසක මව තමයි ගොඩ වෙදකම් කරන්නේ".. ඒවගෙන් හැම එකක්ම වගේ හරි ගියා මිස වැරදිලා නෑ… ගෙදර දරුවෙකුගේ බඩ පිපුමකට, සෙම්ප්‍රතිශ්‍යාවකට, අජිර්ණයකට අත් බෙහෙත් අම්මා දැනගෙන හිටියා. ගෙදර කුස්සිය පැත්තේ සකසා ගත් ඉඩක පුංචි පුංචි බෙහෙත් පැළැටි වවල තියාන හිටියා. ඉඟුරු පැළයක්, කහ පැළයක්, කරපිංචා ගහක්, ලුණුවිල ටිකක්, වැල් ගොටුකොළ ටිකක්, අමුක්කරා පැළයක් ඒ ඒ පුංචි ඉඩේ අනිවාර්යයෙන් තිබුණා. අනුපානයන් විදියට මී පැණි කුප්පියක් ඇගේ දුම්මැස්ස කිට්ටුව හංගලා තියාගෙන හිටියා. සුලභව හමු නොවන පළාත්වල “අක්කපාන” පැළේකුත් මේ ඉඩකඩේ වවාගන්න අම්මා අමතක කළේ නෑ.

අක්කපාන කියූ සැණින් බොහෝ දෙනා දන්නේ එය මුත්‍රාශයේ හටගන්නා ගල් දිය කර යවන්නට හැකි අපූරු ඖෂධයක් ලෙසය. 

 “පාෂාණ බේද” ලෙසද අක්කපාන හඳුන්වන්නේ එහි ඇති එම සුවිශේෂ ගුණය නිසාය. නමුත් අක්කපාන යනු ඒ වෙනුවෙන්ම පමණක් යොදාගත හැකි ඖෂධයක් නොවේ. බොහෝ දෙනා එතරම් නොදැන සිටියත්, අර්ශස් රෝගයටත්, එහි ප්‍රභේදයක් වන “රක්තාර්ශස්” රෝගයටත් අක්කපාන වලින් ගුණ ලබාගත හැකිය. තවදුරටත් විස්තර කරන්නේ නම් අධෝ මාර්ගය ආශ්‍රිත බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස “අක්කපාන’ යොදාගත හැකිය.

සතියකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා, එයට යහමින් රතු ලූනු ද, අවශ්‍ය තරමට ගම්මිරිස්, දෙහි සහ ලුණුද එක් කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහාරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායක දෙයකි. “අක්කපාන” කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය.

අක්කපාන ප්‍රභේද දෙකකි. එක් වර්ගයක පත්‍ර හීනිය. අනෙකේ පත්‍ර ලොකුය. සමහරෙක නාරටිය රත් පැහැතිය. සමහරෙක නාරටිය සුදු පැහැතිය. මේ ප්‍රභේද දෙකේම ගුණ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සැලකූ කළ රසයෙන් කෂාය සහ අම්ලය. ගුණයෙන් ලඝු සහ රූක්ෂය. මධුර විපාකයෙන් සහ ශීත වීර්යයෙන් යුතුය. දේශිය වෙදකමේදී සහ ආයුර්වේදයේදී අක්කපාන වලට ඖෂධීය වටිනාකමක් ලැබෙන්නේ එහි ඇති ශීත වීර්යය ගුණය නිසාය.

නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩු වේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතු වේ.

අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ . විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.

සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබා ගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන. ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වන පුරුෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේ අපහසුතා සඳහාද එම ප්‍රතිකර්මය යොදා ගත හැකිය.

රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මී පැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඬු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.

කාන්තාවන්ට ඇති වන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.

අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇති අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.

අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍ර කර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්‍රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

මේ සියලු ප්‍රතිකර්මයන් පුරුද්දක් ලෙස නිතර භාවිතා කිරීමට පෙර පෙරදිග වෛද්‍ය උපදෙස් අනුගමනය කිරිම වැදගත්ය. එහෙත් ආහාරයට එක් කර ගැනිම මගින් හෝ සතියකට වරක් දෙවරක් අත්හදා බැලිමෙන් ශරිරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ.

මේ අනුව බලන කළ අප නොසිතන පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකාර සඳහා අක්කපාන භාවිතා කළ හැකිය. නමුත් අප එයින් නිසි ප්‍රයෝජනය නොගන්නේ ඒ පිළිබඳ අපේ පරම්පරාවේ ඇති දැනුමෙහි මදකම නිසාය. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ අපේ දේශිය ඖෂධ පිළිබඳ දැනුම කිසියම් අවස්ථාවක පසු පරම්පරාවට ගලා නොයෑම නිසා මතුවූ හිඩැස නිසා මේ තත්වය ඇතිව තිබේ. සුළු රෝග ලක්ෂණයකදී පවා ඉවසිමෙන් ප්‍රතිකර්මයක් කරනු වෙනුවට වහ වහා රෝහලක් වෙත යාමට වත්මන් පරපුර හුරුවි සිටී.

“අපේ ගෙදර අම්මාගේ අතින් සිදුවූ “ගොඩ වෙදකම” වෙත අපි ආයෙත් නැඹුරු වීමෙන් යහපතක් මිසෙක අයහපතක් වෙන්නේ නෑ.. එදා අපේ කුස්සිය වටේ තිබණු ඖෂධීය පැළ අපිට අද දවසේ ගෙවත්තේ ‘විසිතුරු පැළ” ලෙස වුවත් වගා කරගන්න පුළුවන්. ඒ දැනුම පරම්පරාවෙන් තමන් වෙත නොලැබුණත් මෙවැනි ලිපි හරහා හෝ අලුත් පරපුර මේ ගැන උනන්දු වෙනවා නම් අපිට සුවදායක හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

Post a Comment (0)
Previous Post Next Post