බිත්තර කියන්නේ අපේ මුළුතැන්ගෙට නැතුවම බැරි දෙයක්. ඒත් ඔබ කෑමට ගන්නා බිත්තර නිවැරදිව ගබඩා කරනවාද? සමහරවිට ඔබ නොදැනුවත්වම කරන දෙයකින් බිත්තර විෂ වෙන්න පුළුවන්.
බිත්තර සේදීම හොඳද?
ගොඩක් අය බිත්තර ගෙදර ගෙනාපු ගමන් සෝදලා ශීතකරණයේ දානවා. ඒත් ඔබ දන්නවාද, එසේ කිරීමෙන් බිත්තරවල සෞඛ්‍ය ආරක්ෂිත බව නැතිවෙන බව? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවා මේ ගැන අනතුරු අඟවනවා.
බිත්තර කටුව කියන්නේ සම්පූර්ණයෙන්ම වැහුණු දෙයක් නෙමෙයි. එහි අපට පියවි ඇසට නොපෙනෙන සියුම් සිදුරු රාශියක් තියෙනවා. බිත්තර සේදීමේදී, මතුපිට ඇති කුණු, දූවිලි සහ සත්ව අපද්‍රව්‍ය වතුරේ දියවී, එම සිදුරු හරහා බිත්තරය ඇතුළටම යන්න පුළුවන්.
බිත්තරය ඇතුළත කියන්නේ ප්‍රෝටීන් බහුල පරිසරයක්. මේ නිසා ඇතුළු වන ක්ෂුද්‍ර ජීවීන් ඉතා වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙය ආහාර විෂවීම් වලට පවා හේතු විය හැකියි.
ඒ නිසා, මින් ඉදිරියට බිත්තර ගබඩා කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.