ඩෙංගු, මැලේරියාව සහ බරවා හැමතැන පැතිරිලා

 

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි, ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු, මැලේරියාව සහ බරවා රෝග ව්‍යාප්තියේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිව තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 22 ක් සහ ඩෙංගු රෝගීන් 41,551 ක් වාර්තා වී ඇති බවයි.


එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පසුගිය සම්පූර්ණ වසරේදී ඩෙංගු රෝගීන් 49,870 ක් සහ ඩෙංගු මරණ 24 ක් වාර්තා වූ බවය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, යාපනය, මඩකළපුව, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් ඉහළම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ඇය අවධාරණය කළාය. ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක බව වෛද්‍ය සමරවීර මහත්මිය පැවසුවාය. වර්ෂාවත් සමඟ වර්ධනය විය හැකි මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා, ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන සක්‍රීයව විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි. දින දෙකකට වඩා උණ තත්ත්වයක් පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ අවශ්‍යතාවයද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


මේ අතර, මැලේරියා මර්දන ව්‍යාපාරය පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව මැලේරියා රෝගීන්ගේද වර්ධනයක් පවතින බවයි. පසුගිය වසරේදී මැලේරියා රෝගීන් 38 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වූ අතර, මෙම වසරේ මුල් මාස 10 තුළ මැලේරියා රෝගීන් 37 දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළාය. වාර්තා වී ඇති මැලේරියා ආසාදිතයන්ගෙන් සියයට 90 ක් පමණ අප්‍රිකානු රටවල සිට පැමිණි පුද්ගලයන් බවද ඇය කීවාය.

මැලේරියාව වැළඳී ඇති මෙම පිරිසෙන් සියයට 83 ක් පිරිමි පුද්ගලයන් වන අතර, සියයට 80 ක් ශ්‍රී ලාංකිකයන් බවද වෛද්‍ය ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 'Plsmodium falciparum' (ප්ලස්මෝඩියම් ෆැල්සිපාරුම්) නම් මැලේරියා පරපෝෂිතයා ආසාදනය වීමෙන්, මොළේ මැලේරියාව සහ සිරුරේ සියලු අවයවවල සංකූලතා ඇති කරන මාරාන්තික තත්ත්වයන්ට පත්විය හැකි බවත්, මෙම දරුණු තත්ත්වය රෝගීන් අතුරින් සියයට 77 ක් තුළ දක්නට ලැබෙන බවත් ඇය පැවසුවාය. අප්‍රිකානු රටවලට විවිධ රැකියා සඳහා පිටත්ව යන අය සහ වන්දනාවේ යන පුද්ගලයින් මැලේරියා අවදානම් කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති බැවින්, ඔවුන් මැලේරියාව වළක්වා ගැනීමේ ඖෂධ ලබා ගැනීම අනිවාර්ය බවද ඇය අවධාරණය කළාය.


අප්‍රිකානු රටවල සංචාරය කිරීමේදී මෙන්ම, යළි මෙරටට පැමිණීමේදී මැලේරියා මර්දන ව්‍යාපාරය හෝ ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක වෙත යොමු වී අදාළ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවාය. මැලේරියා රෝග ලක්ෂණ ඩෙංගු වැනි රෝග ලක්ෂණවලට බෙහෙවින් සමාන බැවින්, සැක සහිත රෝගීන් මැලේරියා පරීක්ෂණයක් සිදු කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඇය වැඩිදුරටත් කීවාය.


මේ අතර, බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරට සාපේක්ෂව බරවා රෝගීන්ගේද වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවයි. පසුගිය වසර තුළ බරවා රෝගීන් 28 දෙනෙකු වාර්තා වූ අතර, මෙම වසරේ ගතවූ මුල් මාස 10 තුළ එම සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගීන් වාර්තා වන බවද සේරසිංහ මහතා පැවසීය.


මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා නොගතහොත් බරවා රෝගයේ සංකූලතා ඉහළ ගොස් විකෘතිතා පවා ඇති විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය. බරවා රෝගීන් හඳුනාගැනීම සිදු කරන්නේ අදාළ ප්‍රජාව තුළ රාත්‍රි කාලයේදී සිදුකරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් මගින් බැවින්, එම පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස් වෙත පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ට ජනතාවගේ සහාය ලබා දෙන ලෙස සේරසිංහ මහතා ඉල්ලීමක් කරයි.

Post a Comment (0)
Previous Post Next Post