කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පීඩන අවපාතය පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය මඩකලපුවේ සිට කිලෝමීටර් 210ක් පමණ ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර තද සුළං තත්ත්වයක් ද බලාපොරොත්තු වේ. විශේෂයෙන් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.
එසේම උතුර, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ඉතා තද සුළං ඇති විය හැකි බැවින් එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙසත්, නොවැම්බර් 30 වන දින දක්වා පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ අංශ දැනුම් දෙයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස අවවාද කරනු ලැබේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ත් 3.5ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා ද විශේෂ අවවාද නිකුත් කර ඇති අතර "සෙන්යාර්" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අදාළ මුහුදු කලාපවල සුළගේ වේගය ඉහළ ගොස් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. අනතුරු ඇඟවීම් සලකුණු කර ඇති මුහුදු කලාපවල ධීවර කටයුතුවල නිරත වන පිරිස් වහාම එම ප්‍රදේශවලින් ඉවත් විය යුතු අතර ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානය යොමු කළ යුතුය.
