ස්වාභාවිකව මුහුණ පැහැපත් කරන සත්කාර 10 ක්

 

🌿 ස්වභාවිකව මුහුණ පැහැපත් කරන සත්කාර 10 ක් 🌿 
වයස් භේදයක් නැතුවම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුවම අපි හැමෝම නිතරම උනන්දු වෙන්නේ අපේ බාහිර පෙනුම ලස්සනට තියාගන්න. ලස්සන සාපේක්ෂ දෙයක් වුණාට එය පුළුල් මාතෘකාවක් සම, හිසකෙස්, නිය,දත්, ඇස්   ඇස් වගේම අපි අදින පළඳන විලාසිතා ආදී මේ හැමදෙයක්ම ලස්සන කියන කරුණාව ඇතුළෙ  කතා කරන්නට පුළුවන්. ලස්සනට ඉන්න ආසයි. ඒත් ඉතින් අපිට කොයින්ද ඒවාට වියදම් කරන්න සල්ලි කියන අයත් අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. ලස්සනට ඉන්නට නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනේ නෑ. මොකද අපිට ලස්සන වෙන්න සරල පහසු ස්වාභාවික ක්‍රම ඕනෑ තරම් තියෙනවා. ලස්සන ගැන කතා කරද්දි අපි හැමෝටම වගේ මුලින්ම මතක් වෙන්නේ  මුහුණ. ඒ නිසා අපි බලමු  මුහුණ ලස්සන කර ගන්නට නිවසෑදීම කරන්නට හැකි  ස්වාභාවික ක්‍රම මොනවද කියලා.

✡️ අයිස් කැට සත්කාරය -මේ සත්කාරය හරිම පහසුයි. වියදමක් නැතුව කරන්නටත් පුලුවන්.  දිනපතාම කපු රෙදි කෑල්ලක ඔතපු අයිස් කැට කීපයක් විනාඩි තුන හතරක් වගේ කාලයක් මුහුණේ  කවාකාර විදිහට අතුල්ලන්න. පිරිසිදු වතුරෙන් සකස් කරපු අයිස් කැට  වගේම ග්‍රීන් ටී, කෝමාරිකා වගේ දේවල් එකතු කරල හදාගත්තු අයිස්කැටත් සමට හරිම ප්‍රයෝජනවත්. මෙය ඔබේ මුහුණ දීප්තිමත් කරගන්නට, මුහුණේ ආලේප කරන අනෙකුත් රූපලාවන්‍ය  නිෂ්පාදන සමට උරා ගැනීමේ හැකියාව වැඩි කරන්නට, සමේ කුරුලෑ නිසා ඇති වුණු වලවල් නැති කරන්නටත්, අව්වට පිච්චුණු සම යථා තත්ත්වයට පත් කරන්නට වගේ වාසි බොහොමයක්  වියදමක් නැතුවම අපට ලබාගන්නට පුළුවන්. මේ සත්කාරය කිරීමට පෙර හොඳින් මුහුණ මුහුණ පිරිසිදු කර ගන්නට මතක තබා ගන්න. 

✡️ සක්‍රීය කළ අඟුරු- අඟුරු මුහුණේ සිදුරුවල ගැඹුරටම ගමන් කරමින් මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරමින් සමට හොඳ දීප්තියක් ලබා දෙනවා. වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට සතියකට වරක් දෙවරක් මෙය භාවිතා කරන්නට පුළුවන්. අඟුරු කුඩු තේ හැන්දක් අරගෙන එය වතුර හෝ රෝස වතුර සමඟ මිශ්‍රකර පල්පයක් වගේ සාදා මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 8ක් 10ත් අතර කාලයක් තබා ගන්න. ඉන් පසු මෙය සෝදා ඉවත් කර මුහුණ හොඳින් තෙතමනය කරගන්න. 

✡️ යෝගට්- මුහුණේ ඇති තෙල් ගතිය ඉවත් කර ගන්නට ළදරුවෙකුගේ වගේ සම මෘදු කරගන්නට සම පැහැපත් කර ගන්නට යෝගට් ඉතාම හොඳ සත්කාරයක්. ඒ වගේම මුහුණේ කුණු දූවිලි ඉවත් කරන පිරිසුදුකාරකයක් විදියටත් මෙය භාවිතා කරන්න පුළුවන්. යෝගට් එකක් අරගෙන මුහුණේ මිනිත්තු කිහිපයක් හොඳින් ආලේප කර සම්බාහනය කරන්න. මෙය මෘදු ආලේපනයක් නිසා දිනපතාම භාවිතා කරාට ගැටලුවක් නැහැ. වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට ඔබට මේ සඳහා දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කරන්නත් පුළුවන්

✡️ ටී බෑග් -මුහුණේ ලස්සන ගැන කතා කරද්දි ඇස්වල දීප්තිමත් බව ගැනත් අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. නිවසේ දී භාවිතා කරන ටී බෑග් විසි කරන්නේ නැතිව මුහුණට සත්කාර වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඇස් වටා අවපැහැ වීම්, ඇස් වටා ඇතිවන රැලි වැටීම්, ඇස් ආශ්‍රිත රෝග ආදීය සඳහා ගොඩක් ප්‍රතිලාභ මේ සත්කාරය මගින් ඔබට ලබා ගන්නට පුළුවන්.  තේ හදන්නට භාවිතා කරපු ටී බෑග් දෙකක වැඩි වතුර මිරිකා එළිමහනේ හෝ ශිතකරණය  තබා නිවෙන්නට හැරලා ඇස් උඩ තියාගෙන විනාඩි 15 – 20 වගේ කාලයක් ඉන්න.

✡️ කෙසෙල් -කෙසෙල්වලින් සකස් කර ගත හැකි ෆේස් මාස්ක් එකක් මගින් සමට බොහෝ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. අඳුරු ලප ඉවත් කිරීම, සමේ වියළි බව දුරු කිරීම, සමේ රැලි වැටුණ ස්වභාවය නැති කිරීම සහ  සමේ තෙතමනය පවත්වා ගැනීම ආදී බොහොමයක් ප්‍රතිලාභ මෙයින් ඔබට ලබා ගන්නට පුළුවන්.
මේ සඳහා හොඳින් ඉදුණු මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් ගෙන එය පේස්ට් එකක් එන විදිහට පොඩි කරගෙන මුහුණේ  ආලේප කරන්න. එසේ නැත්නම් මේ සාදාගත් පෝස්ට් එකටම යෝගට් කෝප්පයකින් කාලක් මී පැණි මේස හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කර ආලේප කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. පසුව  විනාඩි 20ක් තබා සීතල ජලය මුහුණ සෝදා හරින්න.

✡️ පැපොල්- පැපොල්වල අන්තර්ගත වෙන පැපේන් සමට ඉතාම ගුණදායකයි. සමේ පැහැපත් බවට දීප්තිමත් බවට සහ ලප කැළැල් දුරු කර ගන්නත් එය ඉතා වැදගත්.හොඳින් ඉදුණු පැපොල් කැබැල්ලක් හොඳින් අඹරාගෙන පල්පයක් ලෙස සකස් කර එයට ලෙමන් යුෂ තේ හැඳි බාගයක්, මීපැණි තේ හැන්දක් එකතු කර හොඳින් කලවම් කර සමේ ආලේප කර විනාඩි 20 කින් සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා සිදු කිරීමෙන් වඩාත් ලස්සන සමක හිමිකරුවෙක් වෙන්න පුලුවන්.

✡️ කෝමාරිකා -සම ආශ්‍රිත ගැටලු බොහොමයකට  ඉතාම හොඳ ඖෂධයක් තමයි  කෝමාරිකා. සුදු වෙන්නට, ලප කැලැල් අඩුකර ගන්නට, කුරුලෑ බිබිළි ආදි ආසාත්මිකතා නැති කරගන්නට කෝමාරිකාවලට විශේෂ හැකියාවක් තියෙනවා. කෝමාරිකා මද කෝප්ප භාගයක් අරගෙන එයට දෙහි යුෂ තේ හැඳි දෙකක්, මුදවන කිරි මේස හැන්දක් එකතු කරලා හොඳින් පොඩි කරගන්න. පසුව එයට දෙහි යුෂ සහ කහ කුඩු ස්වල්පයක් එක්කර හොඳින් කළවම් කරගන්න. මේ සාදාගත් ආලේපනය මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20 ක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. 

✡️ ළූණු -ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මුහුණට වයසට වඩා පෙනුමක් එකතු වීම. මේ ගැටලුවෙන් මිදෙන්නටත්  හිරු එළියෙන් වන  හානිය අවම කර ගන්නටත් , සමේ අඳුරු පැල්ලම් නැති කර රැලි වැටීම් නැති කරගන්නටත් මේ සත්කාරය ඔබට භාවිතා කරන්නට පුළුවන්.ඔබගේ සම ගොඩක් සංවේදී එකක් නම් ළූණු යුෂ පමණක් භාවිතා කරන්නට එපා. එවිට ළූණු යුෂ කහ, කිරි තේ හැන්දක් සමඟ  මිශ්‍රකර සමේ ආලේප කරන්න. 

✡️ තක්කාලි-එක රැයකින් මැරුණු සම ඉවත් කරලා සම දීප්තිමත් කරගන්නට තක්කාලි ඔබට භාවිතා කරන්නට පුළුවන්. තක්කාලි අලුත් සෛල නිපදවීමට උපකාරී වෙනවා. මේ සඳහා තක්කාලි යුෂ ගෙන එයට ලෙමන් යුෂ මිශ්‍රකර අඳුරු පැහැ ස්ථානවල ආලේප කර සෝදා හරින්න. තෙල් සහිත සමකට නම් තක්කාලි යුෂ මී පැණි සමඟ යොදා මුහුණේ ආලේප කර පසුව සීතල ජලයෙන් සෝදා හරින්න. 

✡️ පිපිඤ්ඤා-සමේ ඇතිවන වියළි බව නැතිකර ගන්නට, කුරුලෑ ලප කැළැල් දුරුකර සමේ තෙතමනය  පවත්වාගෙන යන්නට පිපිඤ්ඤා ඉතාම හොඳ සත්කාරයක්. පිපිඤ්ඤා  හොඳින් අඹරා මුහුණ,බෙල්ල ආදී ප්‍රදේශවල ආලේප කර විනාඩි 20 කට පසු සෝදා හරින්න. 

✡️ කඩල පිටි-අව්වට පිලිස්සුණ සම නැවත යථා තත්වත්වයට පත් කර ගන්නට, මැරුණු සම ඉවත් කරගන්නට, සම පැහැපත් කරගන්නට කඩල පිටි උදව් වෙනවා.  සාමාන්‍ය ජලය සමග කඩල පිටි මිශ්‍ර කර එයට කිරි, ලෙමන්  බින්දු කිහිපයක් එකතු කර ආලේපනයක් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20 කින් පසු සෝදා හරින්න. මේ සඳහා ඔබට  කෝමාරිකා ජෙල් හෝ රෝස වතුර එකතු කරන්න පුළුවන්. මේ සත්කාරය සතියකට තුන්වරක් කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Post a Comment (0)
Previous Post Next Post